lan englan tam

පුවත්

සිනමාව ජය ගන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

– බලාපොරොත්තු වුණු ඉලක්කවලට ගියා කියලා දැනෙනවා

– ප්‍රේක්ෂකයො තමයි මගේ එකම වත්කම

 

කිංග් හන්තර්, කෝ මාර්ක් නෝ මාර්ක්, 5 සමත් ඔබ වෙත තිළිණ කළ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නවතම සිනමා නිර්මාණය ‘කාසි වාසි’ මේ දිනවල සිනමා ශාලාවල තිරගත වෙනවා. පුංචි තිරයේ එකිනෙකට වෙනස් වූ නිර්මාණ කිහිපයකින්ම ඔබ අතරට එන මේ නිර්මාණකරුවාගේ කාසි වාසි චිත්‍රපටය ගැන වගේම අලුත් නිර්මාණ ගැන කළ කතාබහයි මේ.

අපි කාසි වාසිවලින්ම කතාව පටන් ගමු

මේක අවමංගල්‍ය ශාලාවක් කේන්ද්‍ර කරගත් ප්‍රහසනාත්මක සිනමා නිර්මාණයක්. කාසි වාසිහි තිරපිටපත ලියන්නේ ගිරිරාජ් කෞෂල්‍ය වන අතර, ලාංකේය සිනමාවට කාසි වාසි නිෂ්පාදනය කරන්නේ අනුරාධ බී. රැකව සහ ශ්‍රී ලාල් වික්‍රමගේ.

 

MV5BMTY2M2UwNmItYTdkMC00M2IwLWJiNWQtNDZiMWE1NzJmYTdjXkEyXkFqcGc. V1

 

ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?

විවිධ මට්ටමේ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ලැබෙන හැම ප්‍රතිචාරයක්ම මගේ නිර්මාණයට ලැබෙන ප්‍රචාරණයක් විදියට මම සලකන්නේ. ඕනෑම කෙනෙක්ට ඕනෑම මතයක් දරන්න පුළුවන්. ඒ දරන මතවලට මම දැඩි ලෙස ගරු කරන කෙනෙක්. ලැබෙන ප්‍රතිචාර එක්ක චිත්‍රපටය සාර්ථකව ප්‍රදර්ශනය වෙනවා. ඕනෙම අධ්‍යක්ෂවරයෙක් නිෂ්පාදකයෙක් කැමතියි තමන්ගේ නිර්මාණයක් හවුස් ෆුල් වෙලා බලනවා නම්. ඕනෙම නිර්මාණකරුවෙක්ගේ සතුට දවසින් දවස ඔළු ගෙඩි ගාන වැඩිවෙන එක. ඒ සතුට මම මේ දවස්වල උපරිමයෙන් භුක්ති විඳිනවා.

නාට්‍යය බොහොමයක් එකවර අධ්‍යක්ෂණය කරන්නේ කොහොමද? බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් ඇහුවේ…

කරන නිර්මාණ ප්‍රමාණය කීයද? කොහොමද කරන්නේ, එයාට කරන්න පුළුවන්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. දැනට යන එක නාට්‍යයක්වත් මේ මොහොත වෙනකම් ප්‍රතික්ෂේප වෙලාත් නැහැ. ඒක තුළ මම දකින්නේ ඒක මට ලැබුණු සුවිශේෂ අවස්ථාවක්. ඒ එක්කම මගේ ටෙලි නාට්‍යය කිහිපයක් විකාශය වෙන කාලෙම මගේ චිත්‍රපටයක් තිරගත වෙනවා. ඒක මගේ වෘත්තීය ජීවිතේ තුළ මට ලැබුණු සුවිශේෂ වරමක්.

ගිරා – සිවා සුසංයෝගය ගැන කතා නොකළොත් අඩුවක්?

ගිරා එක්ක මට තියෙන්නේ අවුරුදු 25කට එහා ගිය මිත්‍රත්වයක්. ගිරාගෙයි මගෙයි මිත්‍රත්වයට එහා ගිය බැඳීමක් තියෙනවා. ඒ බැඳීම කියන්නේ දවස ගානේ කෝල් කරලා දුක සැප අහන එක නොවෙයි. එතැනින් එහාට ගිය හදවත්වල බැඳීමක් තියෙනවා. මම එදා ඉඳන්ම විශ්වාස කළ දෙයක් තමයි හාස්‍ය මුසු නාට්‍යයක් හෝ චිත්‍රපටයක් කරනවා නම් එහි තිර රචකයා ගිරා වෙනවා නම් මට පහසුවක් සහ හොඳක් වෙයි කියන එක. ඒ විශ්වාසය මත තමයි ගිරා මේ පිටපත රචනා කරන්නේ. ගිරා මා එක්ක ටෙලි නාට්‍යය දෙක තුනක් කළා. ගිරාට ලොකු වුවමනාවක් තිබ්බා මට සිනමා තිරපිටපතක් ලියලා දෙන්න. කොරෝනා කාලය සහ පසුගිය කාලේ අවාසනාවන්ත ලෙස ගිරා රෝගාතුර වීම එක්ක කල් ගියා. නමුත් ඔහු පොරොන්දු වූ පරිදි මට මේ පිටපත ලියලා දුන්නා. ඒ පිටපත අනුරාධ බී. රැකව සහ ශ්‍රී ලාල් වික්‍රමගේගේ මූල්‍ය දායකත්වයෙන් සහ සියලුම ශිල්පීන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් චිත්‍රපටයක් බවට පත් වෙලා තියෙනවා.

jayaprakash sivagurunathan

ලංකාවේ වගේම විදෙස් රටවල කාසි වාසි තිරගත වෙනවා, ඒ අත්දැකීම ගැනත් කියමු.

විදේශ රටක මගේ සිනමා නිර්මාණයක් තිරගත වන පළමු අවස්ථාව. මින් පෙර මම කරපු “කිං හන්තර්” චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය කරන්න සියල්ල ලෑස්ති වෙලා තිබුණා. ඒ කාලයේ අපි මෙහෙන් රීල් ටික ගුවන් මඟින් යවලා, එහෙ ප්‍රදර්ශනය වෙද්දී වෙද්දී මමත් එහි යන්න හිටියේ. නමුත් මොකක් දෝ අවාසනාවන්ත සිද්ධියක් නිසා මට එහි යන්න බැරි වුණා. ඒ එක්කම චිත්‍රපටය ප්‍රදර්ශනය වුණෙත් නැහැ. ඒ නිසා කාසි වාසි තමයි මගේ විදෙස් ප්‍රදර්ශනයක් සිදුවෙන පළමු නිර්මාණය. ඔස්ට්‍රේලියාවේ ප්‍රදර්ශන කටයුතු සිදු කරන මාලක යාපාගේ තියෙන සංවිධාන ශක්තිය නිසාම ලංකාවේ ප්‍රදර්ශනය වීමට පෙර සිටම ඔස්ට්‍රේලියාවේ දර්ශන වාර 5කට අධික සංඛ්‍යාවක් හවුස් ෆුල් වෙලා තිබ්බා. දර්ශන වාර 40කට වැඩි ප්‍රමාණයක් පෙන්වන්න මාලකට හැකියාව ලැබුණා. මම එය දකින්නේ ඔහුගේ සංවිධාන ශක්තියේ තියෙන සාර්ථකත්වයක් විදියට. ඒ එක්කම ඔස්ට්‍රේලියාවට අමතරව නවසීලන්තය, කැනඩාව, ඉතාලිය, ජපානය සහ ඩුබායි ආදී රටවලත් ප්‍රදර්ශනය වෙනවා. එහෙ ඉන්නෙත් අපේ ප්‍රේක්ෂකයන්. නමුත් ඒ රටවල් තුළත් අපේ වෙළඳපළක් හැදෙනවා කියන්නේ හොඳ දෙයක්. මම බලාපොරොත්තු වෙන්නේ මෙතැනින් එහාට යන චිත්‍රපටවලට මීට වඩා ඉල්ලුමක් ගොඩනැගිලා මෙතැනින් එහාට යන්න ලැබෙනවා දකින එක. ඒක මගේ චිත්‍රපටවලින්ම වෙන්න ඕනේ නැහැ. කාගේ හෝ නිර්මාණවලින් අපේ කර්මාන්තයට ලැබෙන්න ඕනේ කියන එකයි මගේ ප්‍රාර්ථනාව.

2025 වසර සිනමාවට වැඩි ඉඩක් වෙන් වෙයි ද?

එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. පසුගිය කාලය තුළ මම බලාපොරොත්තු වුණු ඉලක්කවලට ගියා කියලා මට දැනෙනවා. නමුත් සිනමාව මොකක් හෝ කාරණාවක් නිසා අතපසු වුණා. මේ අවුරුද්දේ මට සිනමාව ජය ගන්න පුළුවන් වෙයි කියන ලොකු විශ්වාසය තියෙනවා.

ඔබට ඉන්න ප්‍රේක්ෂකයින් ගැන මොකක් ද කියන්න තියෙන්නේ?

මගේ එකම වත්කම තමයි මගේ ප්‍රේක්ෂකයන්. මගේ නිර්මාණ බලන ප්‍රේක්ෂකයන් නිසා තමයි මම රැඳෙන්නේ, මම ජිවත් වෙන්නේ. මගේ වත්කම වෙලා තියෙන ප්‍රේක්ෂකයින් නැති කර ගන්න මම කැමති නැහැ. ඔබ වුණත් ඔබට තියෙන වත්කම නිකරුනේ නාස්ති කර ගන්න කැමති නැහැනේ. ඒ වගේ මම හිතන්නෙත් නැහැ මගේ වත්කම මම නැති කර ගන්න ඕනේ කියලා. ඒ නිසා ටෙලි නාට්‍යයක් හෝ වේවා චිත්‍රපටයක් හෝ වේවා මගේ ප්‍රේක්ෂකයන්ගේ එක කළු ඉංගිරියාවකට වුණත් මම වග කියනවා. මම එහෙම කියන්නේ ප්‍රේක්ෂකයන් රවට්ටන්න තුන් හිතකවත් බලාපොරොත්තුවක් තිබුණෙත් නැහැ, තිබිලාත් නැහැ, එහෙම තියෙන්නෙත් නැහැ.

ඔබේ නිර්මාණ අතරට අලුතින්ම එන නිර්මාණය රාග, අපි රාග ගැනත් කියලම මේ කතාව අවසන් කරමු…

රාග කියන්නේ මම සුනන්ද සිල්වා එක්ව කරන තුන්වන පිටපත. මම මින් පෙර දෙරණ නාළිකාවේ විකාශය වූ ආත භුත කියන වෙනස්ම ආකාරයේ ටෙලි නාට්‍යයක් කළා. ඒක මීට අවුරුදු 20කට කලින් කරපු එකක්. සුනන්ද මේ පිටපත ලිව්වම හිතනවා මේ පිටපත කරන්න ඕනේ මා එක්කම කියලා. මගේ ළඟට ඒ පිටපත අරන් ආවම මම කියවලා බලනවා. මම විශ්වාස කරන එකම දේ තමයි මගේ ප්‍රේක්ෂකයන් තෘප්තිමත් කරන්න නම් මම තෘප්තිමත් වෙලා ඉන්න ඕනේ කියන එක. පිටපත කියෙව්වම මාව රිද්දන්නේ නැත්නම්, මාව කම්පා කරන්නේ නැත්නම් සහ මාව සලිත කරන්නේ නැත්නම් මම ඒක එක්ක වැඩ කරන්න එකඟ වෙන්නේ නැහැ. එහෙම නොවුණු නමුත් මට කරන්න සිද්ධ වුණු නිර්මාණවලදී මම පරාජයට පත්වෙලා තියෙනවා. මේ රාග නාට්‍යය පිටපත තුළ ඔහු ඒ කතාව ලියලා තිබ්බ වියමනට මම කැමති වුණා. ඒ ආසාව නිසා තමයි මම කරන්න ගත්තේ. ඒ පිටපත ශ්‍රී ලාල් වික්‍රමගේ කියවලා ඔහුත් එයට අතිශය කැමති වුණ නිසා තමයි මේ නාට්‍යය නිෂ්පාදනය කරන්න දායක වුණේ. මේ ටෙලි නාට්‍යය පෙබරවාරි 3 වනදා ඉඳන් සතියේ දිනවල රාත්‍රී 8.00ට ස්වාධින රූපවාහිනියෙන් විකාශය වෙනවා.

අනුෂා රණසිංහ (  රසඳුන )

 

Back to top
Go to bottom